සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

......සිනහව කදුල දුක පිරි ජීවිතයේ විවිධ ඉසව් රසවත් ලෙසින් ලියන්නට.....

Friday, July 7, 2023

~~ නූතන සත්ති කුම්භ දා වත ~~



 එකම කඳවුරේ ඉඳිමින් 

අවි පුහුණුව ලබා එකට

හොදම වෙඩික්කරුවන් වී 

මුල් ඇගයුම ලබා සමව

තරු පටි වල අණ පිළිපැද 

ගාමිණී ආවා උතුරට 

කටු දෙණිවල වන බිම්වල 

රැක සිටියා රුපු ගිනිභට

ගරු මැතිඳගෙ ඔෆර් එකට 

අමරේ ආවා දකුණට 

කාර් බාර් මන්දිරවල 

රැක සිටියා කය ඍජු කොට

අලිමංකඩ කදවුර බිඳ 

පර සතුරා නැගි හෙනකඳ 

එනු වලකා එඩි පෑ සඳ 

හෙළ දෙරණට විය සකි සද

ගරු මැතිඳා පවරපු වැඩ 

මිලි නමයට පිහි තුඩකට 

ඉටු කෙරුවා කෙස් ගහටම 

සිඹ පාතාලයේ පතුලම

සීල් තියපු දෙන කරමත 

සිංහ කොඩිය ඇත ඒ මත 

ගාමිණි නිහඬයි හිතවත 

වෙඩිමුර හඬවයි හදවත

තවත් බොහෝ රහස් අතර 

සැඟ වූ අවි එයි මුලටම 

අමරෙ නිහඬ නොකලානම් 

කැළඹෙයි පරසක්වලක්ම

විරුවන් නරුමයන් අතර 

තරණය වන සහසක් සිත් 

එකට ගැටී අකුණු වැදී 

මල හිරු වැටුණා මුහුදට 

ගිගුම් හඬට මුහුණ නොදී 

සැඟව ගියා අටවක සඳ

එකම අහස ඉහළ ඉඳන් 

මේ හැම සන්තෑසියක්ම

නොදුටුව සේ ඉන්නා සැටි

සැගවිය හැක දැන් කදිමට


නිර්මාණ අයිතිය 

~~සේනක පල්ලියගුරුගේ~~



1 comment:

  1. කටුක උනත් සැබෑවක්මයි.

    ReplyDelete